Thursday 4th of June 2026

English Tamil
Advertiesment


ශ්‍රී ලංකාව සමග ඉන්දියාව අත්සන් කළ රහස් ගීවිසුම් ඉන්දියාව වහා හෙළි කළ යුතුයි  


2026-06-04 1250

 

 

දුම්රියක තේ යාරය වක් කරනවා වගේ කලාපීය සහ ලෝක දේශපාලනය කළ නොහැකි බව ඉන්දීය අගමැති දැන ගත යුතුය  

 

අනුර කුමාර ඉන්දියාවට රට පාවා දුන්නා ද, නරේන්ද්‍ර මෝධි ශ්‍රී ලංකාව ආක්‍රමණය කළා ද..?

 

රට අභ්‍යන්තරයේ එදා ඉන්දියානු විරෝධය වැපුරූ ජවිපෙ අද ඉන්දියානු ගැත්තෙක් වූයේ කෙසේ ද..?

 

රෝහණ විජේවීර ඉන්දියානු ආධිපත්‍ය - ව්‍යාප්ත වාදය ගැන දැරූ ස්ථාවරය ජනපති පිළි ගන්නවා ද..?

 

රනිල් වික්‍රමසිංහට ඉන්දියායව බිය  ඔහු දේශපාලන වශයෙන් කපටි නරියෙකු සහ ඔහු සිය අරමුණු වෙනුවෙන් USE කළ නොහැකි නිසා ද..?  

 

 
(සුජිත් මංගල ද සිල්වා)

 

ශ්‍රී ලංකාව සමග ඉන්දියාව අත්සන් කළ ගිවිසුම් ජනාධිපතිවරයා ප්‍රධාන ශ්‍රී ලංකා ආණ්ඩුව තව දුරටත් හෙළිදරව් නොකර සඟවා ගෙන සිටිනවා නම් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝධි ඒ ගැන  වහාම රටට-ලෝකයට-ජනතාවට හෙළිදරව් කළ යුතුය. දුම්රියක තේ යාරය වක් කරනවා වගේ කලාපීය සහ ලෝක දේශපාලනය කළ නොහැකි බව ඉන්දීය අගමැති දැන ගත යුතුය   

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 2025 වසරේදී අත්සන් කෙරුණු ආරක්ෂක, බලශක්ති, තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතා ගිවිසුම් රට අභ්‍යන්තරයේ සේම ජාත්‍යන්තර වශයෙන්ද විශාල දේශපාලන සංවාදයකට, ආන්දෝලනයකට, සැකයට සහ ප්‍රශ්න කිරීම්වලට ලක් වී තිබේ. එම ගිවිසුම් අතරින් විශේෂ අවධානයට, සැකයට, විවාදයට සහ ප්‍රශ්න කිරීම්වලට භාජනය වූයේ දෙරට අතර අත්සන් කෙරුණු ආරක්ෂක සහයෝගීතා ගිවිසුම, තොරතුරු හුව මාරු සම්බන්ධ එකඟතා සහ ත්‍රිකුණාමලය කේන්ද්‍ර කර ගත් බල ශක්ති ව්‍යාපෘති පිළිබඳ ගිවිසුම්ය.

ගැටලුව ඇත්තේ ගිවිසුම් අත්සන් කිරීම මත නොව, එම ගිවිසුම් හී අන්තර්ගතය සම්බන්ධයෙන් ජනතාවට ප්‍රමාණවත් තොරතුරු නොලැබීම මතය. මේ ගිවිසුම් මේ වන තුරුත් පාර්ලිමේන්තුවේ සභා ගත කිරීමට ජනාධිපතිවරයා ප්‍රධාන ජාතික ජන බලවේග ආණ්ඩුව ක්‍රියා කර නොමැත. ඉන්දියාව සහ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මොධි ද මේ ගිවිසුම් සහ එහි අනතර්රාගතය සම්බන්ධයෙන් මුනිවත රැකීම විශාල සැකයකට තුඩු දී තිබේ.

ජාත්‍යන්තර සහ ජාතික දේශපාලනයේ දී රට-රටවල් අතර ආරක්ෂක සහ ආර්ථික සහයෝගීතා ගිවිසුම් අත්සන් කිරීම සාමාන්‍ය ජාත්‍යන්තර ප්‍රතිපත්තියකි. එහෙත් එම ගිවිසුම් ජාතික ස්වෛරීභාවයට, ආරක්ෂාවට සහ ආර්ථික ස්වාධීනත්වයට බලපාන අයුරින් තිබේද යන්න පිළිබඳව ජනතාවට දැන ගැනීමේ අයිතියක් තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආණ්ඩුව මෙම ගිවිසුම් සම්බන්ධයෙන් ප්‍රමාණවත් විනිවිදභාවයක් පවත්වා ගෙන ගොස් තිබේද යන්න අද ප්‍රධාන දේශපාලන ප්‍රශ්නයක් බවට පත්ව ඇත. ජනතාවගේ බදු මුදලින් පවත්වා ගෙන යන රාජ්‍යයක ජාතික වැදගත්කමකින් යුත් ගිවිසුම් සම්බන්ධයෙන් ජනතාවට තොරතුරු ලබාදීම ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක මූලික වගකීමකි.

මෙහිදී තවත් වැදගත් දේශපාලන විමසුමක් මතුවේ. ඉන්දියානු ආධිපත්‍යවාදයට එරෙහිව දශක ගණනාවක් තිස්සේ දේශපාලන ව්‍යාපාර ගෙන ගිය ජනතා විමුක්ති පෙරමුණ, බලයට පැමිණීමෙන් පසු ඉන්දියාව සමග ඉතා සමීප සහයෝගීතා සබඳතාවක් ගොඩනඟා ගැනීම දේශපාලන පරිවර්තනයක්ද, නැති නම් ප්‍රායෝගික රාජ්‍ය පාලන අවශ්‍යතාවක්ද යන්න සාකච්ඡා කළ යුතු කාරණයකි.

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා සිය දේශපාලන ජීවිතය පුරාවටම කලාපීය බලවතුන්ගේ බලපෑම් පිළිබඳව දැඩි සැලකිල්ලක් දැක්වීය. ඉන්දියානු කලාපීය ප්‍රබලත්වය, ඉන්දියානු ව්‍යාප්ත වාදය සහ ශ්‍රී ලංකාවට එල්ල වන ඉන්දීය බලපෑම පිළිබඳව ඔහු පළ කළ අදහස් අදත් දේශපාලන විවාදයට ලක්වන කරුණු බවට පත්ව ඇත. එබැවින් වර්තමාන ආණ්ඩුව එම ඉතිහාසය සමග සිය ප්‍රතිපත්ති සම්බන්ධ කර පැහැදිලි කිරීමක් කළ යුතුය.

අනෙක් අතට, ශ්‍රී ලංකාව වැනි කුඩා රාජ්‍යයකට ඉන්දියාව සමග යහපත් සබඳතා පවත්වා ගැනීම අත්‍යවශ්‍ය කාරණයකි. භූගෝලීය වශයෙන්, ආර්ථික වශයෙන් සහ ආරක්ෂක වශයෙන් ඉන්දියාව ශ්‍රී ලංකාවට නොසලකා හැරිය නොහැකි අසල්වැසියෙකි. එබැවින් ඉන්දියාව සමග සහයෝගීතාවය තිබීම සහ ඉන්දියාවට යටත්වීම යන කරුණු දෙක එකිනෙකට සමාන නොවේ.

කෙසේ වෙතත්, එම වෙනස ජනතාවට පැහැදිලි වන්නේ ගිවිසුම්වල අන්තර්ගතය විවෘත කළ විට පමණි. ආරක්ෂක සහයෝගීතාවයේ සීමාවන් මොනවාද..? ශ්‍රී ලංකාවේ භූමිය, වරායන් හෝ උපාය මාර්ගික සම්පත් සම්බන්ධයෙන් ලබාදී ඇති එකඟතා මොනවාද..? දත්ත හුව මාරුවේ සහ තාක්ෂණික සහයෝගීතාවයේ ආරක්ෂක වගන්ති මොනවාද..? යන ප්‍රශ්නවලට පැහැදිලි පිළිතුරු අවශ්‍ය වේ. මේ ප්‍රශ්න සඳහා ජනාධිපතිවරයා ප්‍රධාන ශ්‍රී ලංකා ආණ්ඩුව පිළිතුරු නොදෙන්නේ නම් අනවශ්‍ය ජාත්‍යන්තර ප්‍රශ්නයක් ඇති නොකර ඊට පිළිතුරු ලබා දීම ඉන්දියාවේ සහ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මොධිගේ වගකීමකි.

දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ ජනතාවගේ විශ්වාසය දිනා ගැනීම සඳහා රහස්‍යභාවයට වඩා විනිවිදභාවය වැදගත් වන බවයි. විනිවිදභාවය නොමැති විට කට කතා, සැකයන් සහ දේශපාලන ප්‍රචාරයන් වර්ධනය වීම වැළැක්විය නොහැක. එබැවින් “අනුර කුමාර ඉන්දියාවට රට පාවා දුන්නාද..?” හෝ “නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකාව ආක්‍රමණය කර තිබේද..?” යන ප්‍රශ්නවලට දේශපාලන වේදිකාවලින් හෝ සමාජ මාධ්‍යවලින් පිළිතුරු සෙවීම ප්‍රමාණවත් නොවේ. ඊට නිශ්චිත පිළිතුරු ලබාදිය හැක්කේ අදාළ ගිවිසුම් සම්පූර්ණයෙන්ම ජනතාව හමුවේ තැබීමෙන් පමණි.

එහෙයින් ශ්‍රී ලංකාවේ ජාතික අවශ්‍යතාව, ප්‍රජාතන්ත්‍රවාදී පාලන සම්ප්‍රදාය සහ ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය වෙනුවෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අත්සන් කෙරුණු සියලුම ගිවිසුම්වල සම්පූර්ණ අන්තර්ගතය නිල වශයෙන් ප්‍රකාශයට පත් කළ යුතුය. මේ වගකීමෙන් පළා යාමට ඉන්දියාවට සග නරේන්ද්‍ර මෝධිට හැකියාවක් නොමැත. සැකය දුරු කළ හැක්කේ රහස්‍යභාවයෙන් නොව, සත්‍යය හෙළිදරව් කිරීමෙනි.

Advertiesment